ලෝකය ගෝලාකාර , මිනිසුන් විවිධාකාර නමුදු ඉමක් කොනක් නැති සීමා මායිම් වලින්
විවිධ සමාජයෙන් සමාජයට වෙනස් වන ගති පැවතුම් මධ්‍යයේ හැදී වැඩෙන්නට දරුවන්ට ඉඩ ඇත.
ශ්‍රී ලාංකේය සමාජය ආසියාතික යැපුම් මානසිකත්වයෙන් හෙබි වෙනස් වූ සංස්කෘතියක් සහිත වන අතර සමාජීය වශයෙන් දැඩි ලෙස පිරිහීමක් ඇති බව වඩ වඩාත් ඉස්මතු වෙන බව මේ දිනවල හොඳින්ම පෙනෙන්නට තිබේ.
මල් වැනි දරුවන් තලා පෙලා දමන සමාජයක දරුවන්ගේ අනාගතය පිළිබඳව අබමල් රේණුවකවත් අහිතක් සැකයක් නොමැතිව ජීවත් වන්නට නම් යහපත් සමාජානුයෝජනයක් ගොඩනැගිය යුතුමය.
තමන්ගේ මව පියා සහෝදරයා සහෝදරිය නොහඳුනන දරුවන් සමාජයට උරුම වන්නට නම් එහි මුල් පුරුක පවුල බව සියලු දෙනා වටහා ගත යුතුය.
බටහිර සමාජයෙන් වෙන්වූ ආසියාතික සමාජය තුළ වයස අවුරුදු 12 න් පමණ පසු දරුවන් සමාජයට හැඩහුරු ගැසී දෙමාපියන්ගෙන් වෙන්ව වුවද ජීවත් විය හැකි සමාජානුයෝජනයකට පත් වෙයි. එහෙත් ශ්‍රී ලාංකීය සමාජයේ දියණියක් විවාහ වන තෙක් දෙමව්පියන් පසු පසින් සිටිය යුතුය. ඇය ආරක්ෂා කළ යුතුය .
ආරක්ෂා ? කාගෙන්ද ?
කොල්ලොන්ගෙන්ද ? නැත්නන් කෙල්ලොන්ගෙන්ද ? වැඩිහිටියන් ගෙන්ද?
එතකොට ඔබ? නිසැකවම ගැහැණියක් හෝ පිරිමියෙක්
ඔබේ මව? පියා? නිසැකවම ගැහැණියක් හෝ පිරිමියෙක්
ඔබගේ දරුවන්. ඒත් එලෙසමයි
කොතනද වැරදුනේ ?
දියණියක් අපයෝජන වනවානම් ඒ අපයෝජනය වන්නේ පිරිමියෙකු අතින් නම් සමාජ සංස්ථාවේ කුඩාම ඒකකය වන කුටුම්භය එයට වගකිව යුතු නොවේද?
ඔබේ දියණිය තවත් පිරිමියෙකුගෙන් ආරක්ෂා කරන්නේ නම් පවුල තුළ සිටින ඔබේ කුඩා පුතු ඉදිරියේදී තවත් සහෝදරියක් නැගණියක් හිංසනයට පීඩාවට ලක් නොකරන තරමට සමාජයානුයෝජනය කිරීමේ වගකීම ප්රබලවම දෙමාපියන් සතු වේ.
ස්ත්‍රී දූෂකයන්ට ළමා අපයෝජකයන්ට දඬුවම් නීති ක්‍රියාත්මක කරන්නට උත්සාහ දරන සමාජයක ඊට එහා ගිය වගකීමක් පවුල තුළින් ගොඩනැගෙන බව බොහෝදෙනා සිතිය යුතු එහෙත් එසේ නොවන කාරණයකි. සුවහසක් දියණියන් වෙනුවෙන් අයදින නීතියේ රැහැනට තම පුතුන් දිනයක හසු නොවන්නට දෙමාපියන් කුඩා කල සිටම වග බලා ගත යුතුය.
දරුවන් නොමග නොයන්නටනම්, තම මව පියා සහෝදර සහෝදරියන් හඳුනන්නට නම් කුඩා කල සිටම යහපත් සමාජ අනුයෝජනයක් ලබා දිය යුතුය. හොඳ නරක තෝරා බේරා ගනිමින්, ඒ ඒ වයසට අනුකූලව අනුකූලව සියලු අත්දැකීම් ලබා දෙමින් , ගැහැණු පිරිමි භේදයකින් තොරව දරුවන් පසුපස නිතර රැඳෙමින් නිරන්තරයෙන් ඔවුන් ගැන සොයා බලමින් ,ඔවුන් අවබෝධ කර ගනිමින් කටයුතු කරන්නේ නම් ඉදිරි පරපුරේ සමාජ පිරිහීම් ඒ පිරිහීමේ ක්‍රියාවලියට එක් එක් දරුවා නැඹුරුවීම වළක්වා ගත හැකිය.
අද පිරිහෙන සමාජය හෙට වෙනස් කිරීමේ මහඟු කාර්යයට දායක වීමට හැකියාව තිබෙන්නේ හුදෙක් නීතියටම නොව සමාජ සංස්ථාවේ කුඩාම ඒකකය කුටුම්භය තුළින්ම බව සියලු දෙනා වටහා ගත යුතුය.
පිරිහිණු සමාජයේ අනාගත යහපත උදෙසා දරුවන් යහපත් සමාජානුයෝජනය කරන්නේ නම් අද නැතත් හෙට බයක් සැකක් අහිතක් නැති සමාජයක් අපිට උරුම වනු නියතය.
සිතුමිණි ගුණවීර

Good 💛
ReplyDeleteGreat
ReplyDeleteTimely one❤️
ReplyDeleteGood 👌♥️
ReplyDeleteImportant
ReplyDelete